HOME  
Document Actions

යුද්ධය බඩට දැනෙන හැටි

ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලනික විසඳුමක් සොයනවා වෙනුවට යුදමය මර්දනයක් ඔස්සේ යටපත් කිරීම මහින්ද රාජපක්ෂ රජය විසින් තෝරාගෙන ඇති උපායමාර්ගයයි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ද සිංහල පාලකයන් සමග සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් උදා කර ගැනීම කෙරෙහි විශ්වාසයක් තබා නොමැති හෙයින් ද, දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවගේ නිහඬඅනුමැතිය විසින් ද විනාශකාරී යුද්ධය ලක් පොළවේ එකම යථාර්ථය බවට පත් කර තිබේ.

මෙවර නම් යුද්ධය හරියට කරන බවට රජය විශේෂයෙන් ම සිංහල ප්‍රජාව අතර විශ්වාසයක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටියි. ඉතිහාසයේ යුද්ධය මෙහෙයවූ සෑම දේශපාලන හා මිලිටරි නායකයෙකු ම කියා සිටියේ යුද්ධය හරියට කරන බවයි. එහෙත්, ඔවුන් දුරලනවා යි කී ත්‍රස්තවාදය දිනෙන් දින පැටව් ගැසූ අතර, ඇතැම් යුද හා දේශපාලන නායකයන්ගේ බැංකු ගිනුම් ද ප්‍රසාරණය වූවා විනා කී දේ නම් වූයේ නැත. මෙවර නම් එබඳු කිසිවක් නොවන බව පාලකයෝ කියති. අපි අසා සිටිමු.

පෙබරවාරි 10දා ලක්බිම පුවත්පත සමග සම්මුඛ සානච්ඡාවකට එක් වන හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා ඉකුත් වසරේ ත්‍රස්තවාදීන් 5000ක් මරා දැමූ බව සහ මරා දැමීමට ඉතිරිව සිටින්නේ තවත් 6000ක් පමණක් බවත් කියා සිටියේ ය. මෙසේ දහස් ගණන්වලින් මරා දමමින් සිටින්නේ පවත්නා ක්‍රමයට එරෙහිව කැරලි ගැසූ මේ රටේ ම ප්‍රජාවක් බව සිහිපත් කරන්නට තරම් සිහි බුද්ධියක් මේ බෞද්ධ රටේ කිසිවකුට මේ මොහොතේ ඇති බවක් නොපෙනේ. බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු දැල්වී තිබෙන්නේ ඉතා ඉක්මණින් ත්‍රස්තවාදය මර්දනය වී බලය නොබෙදූ ඒකීය රටක සාමය උදා වනතුරු ය.

පසුගිය දිනෙක ඉරිදා ලංකාදීප පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ බලවත් ජනාධිපති සහෝදර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ පැවසී ය.

‛... මම හිතන්නේ කිසිම හමුදා තොරතුරක් අවශ්‍ය නෑ කාටවත් ලියන්න. කොච්චර ආයුධ තියෙනවද මොන ආයුධ ද ගත්තේ මේවා ජනතාවට අවශ්‍ය නෑ. මාධ්‍ය නිදහස කියන්නේ ඒක නොවෙයි.‛

‛... මම බය නැතිවම කියනවා මට බලයක් තියෙනවා නම් මම මේවා එකක්වත් ලියන්න දෙන්නේ නෑ. මම මේ ගැන මුලින්ම ජනාධිපතිතුමාට කිව්වා. මාධ්‍ය වාරණයක් ගේන්න ඕනැ කියලා. මම එදා ඉඳලම කිව්වේ මේවා ලියන්න දෙන්න එපා. තද දඬුවම් දෙන්න පුළුවන් නියෝග ගේන්න කියලයි. සාපරාධී අපහාස නීතිය තිබිය යුතුයි. මේක මරණ දඬුවම වගේ. මරණ දඬුවම තිබුණැයි කියලා මිනියක් මරන්නේ නැත්නම් බය වෙන්න ඕනෑ නෑනේ. වැරදියට බොරු ලියන්නේ නැත්නම් සාපරාධී අපහාස නීතියට බය වන්නේ මොකටද?‛

ඔහුගේ ප්‍රකාශයට අනුව ජනතාවට තිබෙන්නේ ආණ්ඩුව කවදා හෝ දවසක යුද්ධය අවසන් කරන තෙක් පාඩුවේ පැත්තකට වී බලා සිටීමයි.

පාඩුවේ පැත්තකට වී සිටීම නරක නැත. එහෙත්, ගැටළුව ඇත්තේ තැන තැන පුපුරා යන බෝම්බවලින් සහ යුද්ධයේ බරපැණවලිනි.

යුද්ධ කරන්නට පාලකයන් ඔවුන්ගේ පෞද්ගලික බූදල්වලින් වියදම් කරන්නේ නැත. පත්තු කරන හැම උණ්ඩයක් පාසා ම වැය වන්නේ වැඩ කරන ජනතාවගෙන් සූරා ගන්නා බදු මුදල් ය. යුද්ධයේ පිරිවැය පියවෙන්නේ මහජනයාගේ පොකට්ටුවෙන් වන හෙයින් යුද්ධය ගැන විමසන්නට පමණක් නොව එයට විරුද්ධ වන්නට ද මහජනයාට අයිතියක් තිබේ.

ආරක්ෂාව වෙනුවෙන් මේ වසරේ ශ්‍රී ලංකාව අයවැයෙන් වෙන් කර ඇති මුදල රු. බිලියන 166.4කි. එනම් කෝටි 16,640කි. රජය මේ රටේ එක් පුරවැසියකු වෙනුවෙන් වසරකට සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් වෙන් කර ඇති මුදල රු. 2,974ක් වද්දී, ඒක පුද්ගල ආරක්ෂක වියදම රු. 8,536ක් වේ. එහෙත් මහජනයාට ලෙඩකට දුකකට බෙහෙතක් ගන්නට බියෙන් තොරව පාරට බහින්නටවත් ආරක්ෂාවක් රටේ නැත.

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කෙසේ වෙතත්, ත්‍රස්තවාදය වැඩි වැඩියෙන් රටේ ව්‍යාප්ත වීම හේතුවෙන් ජන ජීවිතය අවුල් වී නිෂ්පාදනය ද අඩාල වී ඇති අතර, යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීමේ නව අර්බුදයක් ද පැන නැගී තිබේ.

නිදසුනක් ලෙස පසුගිය වසරක කාලය තුළ රට පුරා විදුලි උපපොළ හා ට්‍රාන්ස්ෆෝමර් 24ක් විනාශ කරන ලද අතර එයින් ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ පාඩුව රු. කෝටි 10කට වැඩි ය. රුපියල් ලක්ෂ ගණනක් වටිනා විදුලි ට්‍රාන්ස්ෆෝමර් 17,500ක් පමණ ආරක්ෂා කරන්නේ කෙසේ ද යන ගැටළුවට දැන් විදුලිබල මණ්ඩලය මුහුණ පා සිටියි.

යුද වැදී සිටින දෙපාර්ශ්වයේ අසමතුලිතබව වැඩි වන තරමට හා රටේ අරාජිකත්වය මුල් බැස ගන්නා තරමට රාජ්‍ය දේපල මෙසේ වැඩි වැඩියෙන් තර්ජනයට ලක් විය හැකි ය.

රටේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ග අතරින් යුද්ධය හේතුවෙන් වැඩි ම පීඩනයකට ලක් වුණේ සංචාරක කර්මාන්තයයි. කලින් කලට උත්සන්න වන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මෙම ක්ෂේත්‍රයට යළි නැගී සිටීමට ඇති අවස්ථා සම්පූර්ණයෙන් ම ඇහිරේ. ප්‍රචණ්ඩත්වය රටේ දකුණු කොණටම ව්‍යාප්ත වීම සමග යාල, වස්ගමුව වැනි සංචාරක ආකර්ශනීය ස්ථාන වසා දැමීමට සිදු වීමත්, බටහිර රටවල් විසින් අලුතෙන් තම රටවල වැසියන්ට ලංකාවේ සංචාරය නොකිරීමට උපදෙස් නිකුත් කිරීමත් මෙහිලා මතු වූ නව තත්වයන් ය.

ශ්‍රී ලංකා රජයේ දුර්වල මානව හිමිකම් ප්‍රතිපත්තිය හමුවේ රටේ විදේශ විනිමය ආදායමෙන් 50%කට ම දායක වන, ලක්ෂ තුනකට රැකියා සපයන ඇඟලුම් කර්මාන්තය ද මහත් සේ අනතුරට පත්ව තිබේ.

ලංකාවේ නිෂ්පාදනය වන ඇඟලුම්වලින් 30%ක් පමණ මිල දී ගන්නේ යුරෝපයයි. එක්සත් ජනපදය 38%ක් පමණ මිල දී ගනියි. තාක්ෂණික හා ව්‍යවසායමය අතින් වඩා ප්‍රබල චීනය හා ඉන්දියාව ලංකාවේ ඇඟලුම් වෙළඳපොල උදුරා ගැනීමට දරණ උත්සාහයේදී ලංකාව බේරී සිටින්නේ බටහිර රටවල් අපට දී ඇති බදු සහන හේතුවෙනි. මෙම වෙළඳ සහන ලංකාවේ මානව හිමිකම්, යහපාලනය සහ නීතියේ ආධිපත්‍යය වැනි කාරණා සමග බැඳී ඇති අතර සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමෙන් පසු ලංකාවේ ඇති වන තත්වයන් යුරෝපා සංගමයේ සැලකිල්ලට යොමු ව ඇත.

විශේෂයෙන් ම ලංකා රජය සටන් විරාමයේ පහසුකාරකයන් වූ නෝර්වේ රාජ්‍යය ඇද දැමූ පහත් තත්වය ජාත්‍යන්තර දේශපාලනයෙහිදී පෙරළා බල පෑ හැකි ආකාරයක් තිබේ. නෝරවේ යුරෝපා සංගමයේ රටක් නොවුණ ද එහි කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාවක් එයට තිබේ. මේ වසරේ්දී ලංකාව යුරෝපා සංගමය සමග එළඹීමට නියමිත, GSP-Plus වෙළඳ සහන ගිවිසුම් 2011 දක්වා දීර්ඝ කිරීමේ කාර්යයේදී ලංකාවට බලපෑම් කිරීමෙහි ප්‍රධාන මෙවලමක් ලෙස යුරෝපා සංගමය විසින් එය පාවිච්චි කිරීමට ඉඩ ඇති බව දැනටමත් දක්නට ලැබේ.

GSP-Plus වෙළඳ සහන ගිවිසුම් ඔස්සේ ලංකාවට ඇඟලුම් ඇතුළු භාණ්ඩ 7200ක් පමණ තීරු බදු රහිතව යුරෝපා සංගමයේ රටවලට අපනයනය කිරීමට ලැබෙන අවස්ථාව අහිමි කර ගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙසබලපාන බව නිසැක ය.

පෙබරවාරි 09දා ඕටැි ීචසැටැක පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙන ජර්මානු ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන ඇමති Heidemarie Wieczorqk-zeul මහත්මිය ශ්‍රී ලංකා රජය ජනවාර්ගික ප්‍රශ්නයට යුදමය විසඳුමක් අවධාරණය කරන්නේ නම් ශ්‍රී ලංකාවට සපයනු ලබන අත්හිටුවීමට යෝජනා කරන බව ප්‍රකාශ කළා ය. නෝර් වීජියානුවන් ඉවත් ව යාමෙන් හා සටන් විරාම ගිවිසුම අහෝසි කිරීමෙන් පසු ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තා කිරීමට කිසිවකු නොමැති බව ඇය වැඩිදුරටත් කියන්නී ය. ආරක්ෂක තත්වය අනතුරුදායක බැවින් ජර්මානු සංවර්ධන බැංකුවේ කාර්යාලය වසා දමන බව සහ සංවර්ධන සහයෝගයන් සඳහා ක්‍රියා කරන කාර්ය මණ්ඩලයෙන් අඩක් ඉවත් කර ගන්නා බව ද ඇය පවසයි.

මේ අතර, රජය යුද්ධ කිරීමට මුදල් වෙන් කර ගැනීම සඳහා මහජන සුබසාධන වියදම් කපා හරින අතර, අලුත් බදු හරහා ආදායම් වැඩි කර ගැනීමට පනත් 10ක් ලහි ලහියේ පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන, අප්‍රේල් සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ඒවා මෙසේයි.

  1. දේශීය ආදායම් සංශෝධිත පනත
  2. ආර්ථික සේවා ගාස්තු සංශෝධන පනත
  3. 2005 අංක 05 දරණ මුදල් පනතේ සංශෝධනය
  4. 2004 අංක 11 දරණ මුදල් පනත
  5. ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන බදු සංශෝධන පනත
  6. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත
  7. පරිසර සංරක්ෂණ බදු පනත
  8. මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත
  9. එකතු කළ අගය මත බදු සංශෝධන පනත
  10. ගෝ ඝාතක සංශෝධන පනත

2008 සඳහා වූ අයවැයෙන් යෝජිත මේ පනත්වලින් අවසාන වශයෙන් සිදු වන්නේ මේ අලුත් වක්‍ර බදු සියල්ල ජනතාවගේ ජීවන බර මතට කාන්දු වීමයි.

මහජනතාවගෙන් කරන සූරාකෑම සඳහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇති කඩිනම සීමිත වූ සහන ක්‍රියාත්මක කිරීමෙහි ලා දක්නට නැත. නිදසුනක් ලෙස ඉන්ධන මිල වැඩි නොකරන බවට දුන් අයවැය පොරොන්දුවට තිබුණේ ඉතා කෙටි ආයු කාලයකි.

අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන සඳහා බදු සහන ඉවත් කිරීමත් සමග ම උද්ධමනය 20%ටත් වඩා ඉහළ යමින් තිබේ. සහල්, තිරිඟු පිටි, එළවළු, ධාන්‍ය, රනිල භෝග, පලතුරු, මිරිස්, තුනපහ, ළුැනු, මාළු, මස්, බිත්තර, පොල්, පොල්තෙල්, කිරිපිටි ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැමෙකකම පාහේ මිළ ඉතිහාසයේ අන් කවර කලකවත් නොතිබූ අන්දමින් ඉහළ නැග තිබේ.

තිරිඟු පිටි පරිභෝජනය 50%කින් පහත වැටී ඇති බව සත්‍යයකි. 2006දී මෙට්‍රික් ටොන් 882,784ක් වූ තිරිඟු පිටි පරිභෝජනය 2007දී මෙට්‍රික් ටොන් 450,000ට පහත වැටුණේ ප්‍රධාන වශයෙන් ම අධික මිළ නිසා ය. එහෙත්, මෙය උදම් ඇනීමට තරම් දෙයක් නොවන්නේ, මේ සමගම සහල් ඇතුළු අනෙකුත් ආහාර භෝගවල ද මිළ වැඩි වූ හෙයින් පෝෂණ තත්වයන්ගේ පිරිහීමක් අනිවාර්යයෙන් ම මේ සමග බැඳී ඇති බැවිනි. ඒ පිළිබඳ සමීක්ෂණ සිදු වී හෝ දත්ත නිකුත් වී හෝ නොමැත.

රටේ ප්‍රධාන වී වගා දිස්ත්‍රික්ක යුද කලාපයේ හෝ මායිමේ පිහිටා තිබීම හේතුවෙන් වී නිෂ්පාදනයේ සංවර්ධනයට ද යුද්ධය දැඩි ලෙස බලපායි, රජයේ සංඛ්‍යාලේඛන අනුව රටේ ජනගහණයෙන් 76%ක් කෘෂිකර්මාන්තය ආශ්‍රිත රෑකියාවල නියැලී සිටින අතර ඒ අතරින් 56%ක් වී ගොවිතැනෙහි යෙදෙන්නෝ ය. යුද්ධය හේතුවෙන් අවතැන් ව සිටින තුන්ලක්ෂයකට අධික ජනයාගෙන් බහුතරය ද ගොවියෝ ය.

යුද්ධය පැවැත්ම සඳහා මාධ්‍යය කරගෙන සිටින රජයේ මිලිටරි දේශපාලනික ප්‍රචාරණයෙහි එක් කොටසක් වූ 60වන නිදහස් උළෙල නිමිති කරගෙන දින කීපයක් පැවති ‛දැයට කිරුළ‛ ප්‍රදර්ශනය සඳහා රජය රු. කෝටි 200ක් වැය කළේය. රජය වී අලෙවි මණ්ඩලය හරහා මහ කන්නයේ වී මිළ දී ගැනීම සඳහා වෙන් කරන බව කියන්නේ් ද රු. කෝටි 200ක් පමණි.

සම්බා කිලෝවක් රු. 22 බැගින් ද නාඩු කිලෝවක් රු. 20 බැගින් ද මිළ දී ගන්නා බව කීව ද, එම මුළු මදලින් ම මිළ දී ගත හැක්කේ වී කිලෝ කෝටි 10කට අඩු ප්‍රමාණයකි. අපේක්ෂිත අස්වැන්න ම කිලෝ කෝටි 200කි. අස්වැන්නෙන් 5%ක්වත් මිළ දී නොගන්නා රජයට වෙළඳපොළ බලවේග කෙතරම් දුරට හැසිරවිය හැකි ද යන්න අස්වනු වෙළඳපොලට පැමිණීමත් සමග දැකිය හැකි වනු ඇත.

දේශපාලන බලය පාවිච්චි කරමින් දේශීය සහල් වෙළඳපොල හසුරුවන ප්‍රධාන බලවේග රජයේ මැති ඇමතිවරුන් බව කවුරුත් දන්නා රහසකි. පාලක බල හවුලේ ඇතැමුන් ඍජුව ම යුද්ධයෙන් ගසා කන අතර, තවත් පිරිසක් මේ අන්දමේ ජාවාරම්වලින් බැංකු ගිනුම් පුරවා ගනිති.

ජාතික ආරක්ෂාවේ නාමයෙන් සුබසාධන වැය ශීර්ෂ සහ සහනාධාර කප්පාදුව හරහා රජය එක පැත්තකින් ධනවාදයේ ව්‍යාපෘතිය කදිමට පෙරට ගනිමින් සිටියි. මේ වනාහි ලෝක බැංකුවේ උපදෙස් මත පවා, මහජන උද්ඝෝෂණ හේතුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට අසමත් වූ වැඩපිලිවෙළවල් වේ.

ලෝක වෙළඳපොළේ මිළ මත රජයේ බදු පනවා ඉන්ධන මිළ තීරණය කිරීම, විදුලිය සඳහා සහන මිළට ඉන්ධන දීම අත්හිටුවීම, විදුලි බිල මාර්තු සිට අධික ලෙස ඉහළ නැංවීම ආදී රජයේ ක්‍රියාමාර්ග ද මීට පෙර ලෝක බැංකුව විසින් කරන ලද නිර්දේශ හා අනුකූල ය.

මේ අතර, දරිද්‍රතාවේ මහා සාගර මැද සල්ලිකාරයන්ට ඉසුරුබර කුඩා දූපත් ඇති කර ගත හැකි වන පරිදි ලක්ෂ ගණනක් දිළින්දන්ගේ ජීවනෝපාය අහිමි කර දමමින් රජය කොළඹ නගරයේ සහ වෙනත් නගරවල වීදි වෙළඳුන් නිර්දය ලෙස පලවා හැරියේ ය. එම ඉතා භයානක ප්‍රතිඵල සහිත අමානුෂික ක්‍රියාව සාධාරණීකරණය කළේ ද ආරක්ෂාවේ නාමයෙනි.

අනවසර පදිංචිකරුවන් ලෙස හඳුන්වමින් ද, අධි ආරක්ෂක කලාප ලෙස නම් කරමින් ද සම්ප්‍රදායිකව ජීවත් වූ බිම්කඩවලින් දිළිඳු ජනයා පලවා හැර, ඉඩම් රජය සතු කර ගැනීමේ ව්‍යාපාරයක් ද විශේෂයෙන් ම, නැගෙනහිර පළාතේ මේ දිනවල ජයට ම සිදු වෙමින් පවතී. ඒ ද ජාතික ආරක්ෂාවේ නාමයෙනි. දැන් මේ ඉඩම් මහජන විරෝධයට තුඩු දුන් ගල් අඟුරු බලාගාර හා වෙනත් ව්‍යවසාය සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට බදු දීම ආරම්භ කර ඇත.

ඉදිරියේදී තවත් බොහෝ සහන කප්පාදු කර දමනු ඇත. බඩු මිළ අහස උසට නගිද්දීත් වැටුප් ඉහළ නොයනු ඇත. එහෙත් ඒ කිසිවකට එරෙහි ව කතා කිරීමට ද ඉඩක් නැත. හඬ අවදි කරන්නන් හැමෙකෙකුට ම දේශද්‍රෝහී ලේබල් ඇලවීමට ද, පැහැරගෙන ගොස් මරා දැමීමට ද සූදානම් වාචාල දේශපාලකයෝ සහ කුලී අළුගෝසුවෝ ඕනෑ තරම් සිටිති.

(අජිත් පැරකුම් ජයසිංහ)  

 

News Archives
  • Sri Lanka discourages rice exports for the use of expatriates
    (JUne 13) Sri Lanka Cabinet of Ministers granted approval to a memorandum submitted by Ranjith Siyambalapitiya in his capacity as the Acting Minister of Finance and Planning to issue a Gazette notification specifying the minimum FOB price of a Metric Ton of rice which is being exported, to be Rs. 100,000 with effect from 10.06.2008.
  • Coca-Cola Urged to Close an Indian Plant to Save Water
    NEW DELHI — A leading environmental research group based here has asked Coca-Cola to consider shutting down a bottling plant in the drought-stricken state of Rajasthan, saying that the plant is depleting scarce water supplies. The recommendation came in a report released Monday by the organization, Energy and Resources Institute. The report was commissioned by Coca-Cola in 2006 in response to reports that pesticide residues had been found in its products.
  • Efforts to trade off land in Eastern Province behind the abrogation of ceasefire
    Sri Lanka Government suddenly decided to abrogate the ceasefire agreement (CFA) with the Liberation Tigers of Tamil Ealam (LTTE). This CFA signed in 2002 was actually defunct since President Mahinda Rajapakse came into power in 2005. However, neither party of the CFA pushed to be the first to withdraw from it. The Government's notice to withdraw from the CFA came in an unexpected time and it did not catch much enthusiasm since it was in rags since many months and the war was raging in full throttle.
  • Doctors given a choice - Generic names or jail
    Beginning (January 1) doctors, both in the private and public sectors, will have to prescribe drugs under their generic names and explain to patients the advantages of prescribing drugs under generic names instead of trade names. This regulation is being implemented under the Private Medical Ordinance Act and Government Medical Ordinance Act.

More...

view more...

Contact Address: 1151/58A, 4th Lane, Kotte Road, Rajagiriya, Sri Lanka. Tel : (+94) 11 2865534 (+94) 11 4407663 Fax : (+94) 11 4407663 www.monlar.org